Corruption Latest News

LNG ටෙන්ඩරයේ රුපියල් මිලියන 90,000ක පාඩුව සම්බන්ධයෙන් රවීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.!

කෙරවලපිටිය එල්එන්ජී විදුලි බලාගාර ටෙන්ඩරය අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගමක් වූ ලක්දනවි සමාගමට ලබා නොදී චීන සමාගමකට පිරිනැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා බැව් ලක්දනවි සමාගම අයත් ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගමේ කාර්ය මණ්ඩල වෘත්තීය සමිතියේ සභාපති ඉංජිනේරු සමීර ගනේගොඩ මහතා පැවැසීය.

සිදුව ඇති අසාධාරණයට සහ දූෂිත ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විට ඉන් එහා තමන්ට ගත හැකි පියවරක්් නොවන බව ද ඒ මහතා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටේ පිළිගත් නිශ්චිත සහ නෛතික ක‍්‍රමවේදයන්ගෙන් බැහැරව කෙරවලපිටිය එල්එන්ජී විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට පිරිනැමීමට තීරණය කර ඇති විදුලි බල අමාත්‍යාංශය මේ වනවිට ඒ භූමියේම තවත් බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ලක්දනවි සමාගම වෙත පිරිනැමීමට සැරසෙන බව දැන ගැනීමට ඇතැයි ද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

චීන සමාගමකට වැඩි ලන්සුවක් යටතේ කෙරවලපිටිය බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය පිරිනමා ඒ හා සමානම බලාගාරයක් ඉදිකිරීම අඩු ලන්සුවක් ඉදිරිපත් කළ ලක්දනවි සමාගමට ලබාදීමට සැරසීම හාස්‍යයට කරුණක් මෙන්ම විශාල සැකයක් මතු කරන කාරණයක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙරට පමණක් නොව විදේශයන්හිදී විදුලි බලාගාර ඉදිකර මේ වනවිට කීර්තියක් අත්පත් කරගෙන සිටින ලක්දනවි සමාගම එවන් දූෂිත ගනුදෙනුවලට මැදිහත්වීමට කිසිසේත්ම සූදානම් නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පූර්ණ මැදිහත්වීමෙන් සිදුවීමට යන කෙරවලපිටිය එල්එන්ජී බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය දේශීය සමාගමක් වන ලක්දනවි සමාගම ඉදිරිපත් කළ අඩු ලන්සුව මඟහැර ඉහළ ලන්සුවක් ඉදිරිපත් කළ චීන සමාගමට ලබා දීමෙන් මෙරට ජනතාවට ගෙවීමට සිදුවන වන්දිය රුපියල් මිලියන අනූවක් පමණ වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කාර්ය මණ්ඩල වෘත්තීය සමිතියේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ද එක්ව සිටියහ.

සමන් ගමගේ (දිවයින)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *