Business Latest News Local News

තල් රා තහනමෙන් උතුරේ පවුල් 18,000ක් අනාථයි.

ඔක්තෝබර් මස 20 වෙනිදා රජය මගින් පොල් හා තල් රා මැදීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් උතුරේ තල් රා නිෂ්පාදනයෙන් ජීවත් වන පවුල් 18000 කට  පමණ ඔවුන්ගේ රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කරමින් ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැණුම්දී තිබේ.

නව ගැසට් නිවේදනය මගින් තල් හා පොල් වලින් රා නිෂ්පාදනය සම්බන්ධයෙන් තහනම් නියෝග හා සීමා කිරීම් ගණනාවක් ඉදිරිපත් කොට ඇති නිසා උතුරේ පාරම්පරික කර්මාන්තයක් වන තල් රා නිෂ්පාදනයේ නිරත පිරිසට ඔවුන්ගේ රැකියාවන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

පොල් හා තල් ගස් වලින් රා මැදීම නිසා එම වගාවන් වල  අස්වැන්න අඩුවීමක් සිදුවන නිසා රජය මේ තීරණය ගෙන ඇතත් තල් ගස් වල අස්වැන්න අඩුවීමෙන් එය රටේ ජනතාවගේ පාරිභෝජනයට හෝ ආර්ථිකයට කිසිදු බලපෑමක් සිදු නොවන බව දේවානන්දා හිටපු අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ නිසා අදාල ගැසට් නිවේදනයෙන් පොල් සම්බන්ධයෙන් පනවා ඇති තහනම් නියෝග හා සීමා කිරීම් ඒ අන්දමටම ක්‍රියාත්මක කොට තල් සම්බන්ධයෙන් අලුතින් පනවා ඇති සියළුම නීතිරීති ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

දිනසේන රතුගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *