Gossip Popular

නොසලකන දරුවන් ළඟට යනවාට වඩා මේ රෝහල් අඟුපිල හොඳයි-වසර 3 ක් කළුබෝවිල රෝහලේ අගුපිළක ගතකරන අසරණ මවක් කියයි

පසුගිය වැඩිහිටි දිනයේදී ගලේවෙල මාතාවක උපහාර ලැබුවේ දරුවන් 20 කට මාතාව වීම නිසාය. ඇය නමින් හසිනිමුන් ආරච්චිගේ රොසලින් නෝනාය. ​ෙරාසලින් නෝනා මාතාවගේ දැන් වයස 80 කි. සැමියා වූ ජී. ජිනදාසගේ වයස 87 කි. මේ යුවළගේ වැඩිමහල් දියණිය 60 වන වියේ පසුවන අතර පවුලේ බාලයාගේ වයස අවුරුදු 30 කි. මේ අනුව පෙනී යන්නේ රොසලින් නෝනා අවසන් වරට දරුවකු බිහිකර ඇත්තේ වයස අවුරුදු 50 දී බවය. ගිනස් පොතේ මෙතුවක් කල් වැඩිම දරුවන් වැදූ මාතාව දරුවන් 19 කට අම්මා වූවාය. දැන් අලුත්ම තත්ත්වය දරුවන් 20 ක් වැදූ රොසලින් නෝනා මාතාව ගිනස් වාර්තාවට සුදුසුකම් ලබන්නේ දැයි සොයා බැලීම නිත්‍යානුකූලව සිදුකිරීමයි.

කරුණු සොයා බැලීමේදී පෙනීයන්නේ අසූව දශකයේ සිට ලොව පුරා වැඩිහිටි ජනගහනය ක්‍රමිකව ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඇතිවී තිබුන බවය. ජාත්‍යන්තරව මේ වැඩිහිටි ජනගහණය ගැන අවධානය යොමු කෙරුණේ 1982 වියානා සම්මුතියෙනි. එක්සත් ජාතින්ගේ සංඛ්‍යාලේඛන අනුව වර්ෂ 2000 වන විට ලොව වැඩිහිටි ජනගහනය දශ ලක්ෂ 500 කි. එය වර්ෂ 2025 වන විට දශලක්ෂ 1100 දක්වා වර්ධනය වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කොට ඇත. ලංකාවේ 2000 වසරේ වැඩිහිටි ජනගහනය 6.62% ක් වූ අතර 2015 වන විට එය 24.4% බවට ගණන් බලා තිබුණි.

පුරාණයේ සිට අප සමාජය පෝෂණය වූයේ වැවයි-දාගැබයි වැවයි-පන්සලයි සංකල්පය යටතේය. එකී පවුල් සමාජයේ පවුලේ නායකත්වය හිමි වූයේ පවුලේ ජ්‍යෙෂ්ඨ වෘද්ධයාටය. සරල ජීවන රටාවක අල්පේච්ඡ ජීවිතයක් ගත කළ ආච්චි-සීයා හෝ වියපත් මව පියා දරුවන් මත යැපුණේ නැහැ. වැඩිහිටියා පරම්පරා කීපයක් සමග ගැටිලත් අත්දැකීම් මත සමාජ, ආර්ථික, දේශපාලනික, ආගමික, සංස්කෘතික හා විශේෂයෙන් පරිසරයෙන් උගත් අත්දැකීම් බොහෝය. එකී දැනුම් නව පරපුර වෙත දායාද කිරීම වැඩිහිටියාගේ යුතුකමකි. වැඩිහිටියන් විවිධ අත්බේත්, කෙම් ක්‍රම, සෞඛ්‍ය පුරුදු වත්මන් පරපුරට බෙදා දෙමින් ඔවුන් ගත කරන්නේ ආතතියෙන් තොර ජීවිතයකි. එහෙත් පසුගිය වකවානුව තුළ අපේ වැඩිහිටියන්ට අත්වූ ඉරණම කුමක්ද? මිනිසුන් දැඩි ආතතියෙන් යන්ත්‍ර මෙන් ආර්ථික ඉලක්ක කරා පිම්මේ යත්දී තම වියපත් මාපියන් නඩත්තුව ඔවුනට බාධාවක් විය. සාරධර්ම අත්බේත්, කෙම්ක්‍රම සියල්ලට පිහිටට ආවේ අන්තර්ජාලයයි. සමාජ ආර්ථික වටපිටාව තුළ අනපේක්ෂිත ලෙස සාරධර්ම ව්‍යාකූල වීම තුළ වැඩිහිටියන්ට නොසලකන වැඩිහිටියන් මහමඟට ඇද දමන ගුණමකු සමාජයක් බිහිවිය. පහතින් ඇති පුවත් ශීර්ෂ පාඨ කීපයම ඊට හේතු සාධක සලසනවා ඇත.

පෝදා පාරේ දමා ගිය ඇමැති ලේකම්ගේ මව පොලිසියට එයි
ඔත්පල පියා ලෑලි මඩුවක- පුත්තු දෙන්නා සුවිසල් මැදුරක
රෙදි සෝදන්න බෑ කියූ නිසා ලේළිය මවට පොල්ලෙන් ගහලා
දේපළ ඔක්කොම ලියාගෙන අම්මාව නංගිගේ මිදුලට ගෙනත් දාලා
85 අම්මා දම්වැලකින් බැඳ බලු කූඩුවක
80 හැවිරිදි පියා අතරමං කළාට දරුවන් 5 උසාවි කැඳවයි
මවගේ ඇඟට උණුවතුර දැමූ උපාධිධාරි සංවර්ධන නිලධාරිනිය අත්අඩංගුවට

නොසලකන දරුවන් ළඟට යනවාට වඩා මේ රෝහල් අඟුපිල හොඳයි. වසර 3 ක් කළුබෝවිල රෝහලේ අගුපිළක ගතකරන අසරණ මවක් කියයි.

ඉහතින් දැක්වූයේ අප උඩින් පල්ලෙන් තේරූ ශීර්ෂ පාඨ කීපයකි. මේවා පුවත්පතේ මුල් පිටුවේ පළවූ ඒවා බැවින් ඇතුළු පිටුවල මෙවැනි වාර්තා කොතරම් පළවූයේ දැයි ඔබට සිතාගත හැකි වනු නියතය.

වැඩිහිටියන්ට නොසලකන දරුවන් ගැන කරුණු සොයන්නට යත්දී වැඩිහිටියාද කොටස් කීපයකට වර්ග කොට ඇති බවය. බටහිර රටවල වයස අවුරුදු 69 සහ ඊට වැඩි අය වැඩිහිටියන් යන වර්ගීකරණයට අයත් වෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල තත්ත්වය මෙයට වෙනස්ය. එම වර්ගීකරණය අනුව වයස 60-65 අතර වැඩිහිටියන් තරුණ වැඩිහිටියන්ය. අවුරුදු 65-75 අතර පිරිස වැඩිහිටියන් ලෙස නිර්වචනය කොට ඇත. වයස අවුරුදු 75 ට වැඩි පිරිස් වියපත් වූවන් ලෙසත් වයස අවුරුදු 85 ට වැඩි වැඩිහිටියන් වයෝවෘද්ධ පුද්ගලයන් ලෙසත් මෙම වර්ගීකරණයට අයත් වේ.

වැඩිහිටියන්ට සැලකීම ගරු කිරීම රැකබලා ගැනීම පුරාතනයේ සිට අපගේ සංස්කෘතිය සමග බැඳී පවත්නා උසස් ගුණාංගයක් විය. එහෙත් අද ජනසංනිවේදන මාධ්‍ය වාර්තා කරන වැඩිහිටියන්ට වන හිරිහැර සහ අතරමං කිරීම්, මහමග දමා යාමේ නිරීක්ෂණයේදී අප යන්නේ කවර නම් ගුණාත්මක සමාජ සංදර්ශනයක් තුළටදැයි සැකයක් උපදී. වත්මන් ලෝක ප්‍රවණතාව තුළ බොහෝ සංවර්ධිත රටවල වැඩිහිටි ජනගහනය වර්ධනය සහ ඔවුන් රැකබලා ගැනීම සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මේ ගැටලුවෙන් මිදුණු දියුණු රටවල් වැඩිහිටියන් රැකබලා ගැනීමේ වෘත්තිකයන් (Caregiver) බඳවා ගැනීම වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රමිකව ව්‍යාප්ත කිරීම් මෙන්ම මේ වැඩිහිටියන් දරුවන්ට බරක් නොවන ලෙස සුරැකීමට විවිධ සහනදායි පැකේජයක්ද හඳුන්වා දී ඇත. පොදුවේ ගත් කළ ලංකාවේ රජයේ සේවකයන් විශ්‍රාම ගිය පසු රාජ්‍ය වගකීමෙන් ඉවත් වී නිදහස් පුද්ගලයකු බවට පරිවර්තනය වේ. විශ්‍රාමික රාජ්‍ය සේවකයාගේ ජීවිතය ජීවන පරිවර්තන සංදිස්ථානයකට (New Life Turning Point) නිරායාසයෙන් ගමන් කරයි. තම දරුවන් ​නොසැකුලවත් තම විශ්‍රාම වැටුපෙන් කොටසක් මහලු නිවාසයකට ගෙවා තම සැඳෑ සමය නිස්කලංකව ගත කිරීමට මෙරට රජයේ විශ්‍රාමිකයන්ට නම් ඇත. එය ශ්‍රී ලංකාවට ආවේනික ලක්ෂණයක් ලෙස විග්‍රහ කළ හැකිය. විශ්‍රාම වැටුපක් ලබන මාපියන් බොහෝ විට මහමග දමා යන තත්ත්ව අපේ ජනසංනිවේදන මාධ්‍යයන්ගෙන් දැනගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ ඔවුන්ට තම දිවිපෙවත ගැට ගසා ගැනීමට විශ්‍රාම වැටුපක් ලැබෙන නිසා විය යුතුය. රාජ්‍ය නිලධාරියෙකුට පවා ණය මුදලක් ගැනීම අටෝරාශියක් පෝරම පුරවන්නට සිදුවී තිබියදී විශ්‍රාමිකයකුට කිසිදු අපහසුවක් නැතුව ලක්ෂ 10 ක පමණ ණය මුදලක් ඇපකරුවන් නැතුව ලබාගත හැක්​ෙක් විශ්‍රාමික ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය (Aendioners micro credit) යටතේය. දැන් මේ මුදල ලක්ෂ 15 දක්වා වැඩිකොට ඇත. වැඩිහිටියන්ට දුන් හැඳුනුම්පතෙන් මදුරුවකු එලවන්නටවත් පිහිටක් නැතැයි වැඩිහිටියෝ කියති. මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලක්ෂ 15 ක තැන්පතුවකට 15% ක පොලියක් ගෙවන බවට වූ අයවැය පුරසාරම නිකන්ම නිකම් හිස් වෙඩිල්ලක් වී තිබේ. අනූව දශකයේ පෞද්ගලික අංශයේ සේවය අහවර කර ප්‍රතිඵලයන් තම ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. ගැටිවිටි සියල්ල එක්කොට තැන්පත් කළේ රජයේ සුරක්ෂිතතාව තිබූ ඉතිරි කිරීමේ බැංකුවේය. එහි එකල බැංකු පොලිය 24.6% ක් විය. එම පොලියෙන් එදා වැඩිහිටියන් තම දරුවන්ට අත නොපා ජීවත් වූයේ සමාජ අභිමානයක් යුතුවය. තම දරුවන් විවාහ පත් වූ විට කුඩා ඇනෙක්සියක් කුලියට ගෙන දිවි ගෙවීමට තරම් එදා වැඩිහිටියන් ආර්ථික අතින් ශක්තිමත් වූයේ එදා ලැබුන අධික බැංකු පොලිය නිසාය. නමුත් අද ලබන පොලිය 10% කට වඩා අඩුවීම නිසා එදා විශාල පොලියකට මුදල් තැන්පත් කළ වැඩිහිටි​ෙයා් අත ලැබෙන සොච්චම් පොලියෙන් තම දිවි ගැටගසා ගැනීමට නොහැකිව අසරණ වූහ.

අද ජනසංනිවේදන මාධ්‍ය වාර්තා කරන අන්දමට වැඩිහිටියන්ට නොසලකන මෙන්ම මහමගට ඇද දමන ප්‍රවණතාව එන්න එන්නම වැඩිවෙමින් පවතී. වැඩිහිටියාගේ ඉරණම පදික ​වේදිකාවක, වැඩිහිටි නිවෙසක, වසා දැමූ කඩයක අගුපිලක, කනත්තක ඇති ගොඩනැගිල්ලක සහායෙන් දිවි ගෙවන තත්ත්වයට දුක්ඛිත වී තිබේ. ඔවුනට අව්වෙන්. වැස්සෙන්, හිරිකිඩෙන් බේරෙන්නට හව්හරණක් නැත.

ජීවිතයේ සැඳෑ සමය විවේකීව ගත කිරීමටත් නිරවුල් මනසකින් යුතුව ගත කිරීමටත් වැඩිහිටියන් බොහෝ දෙනා කැමැතිය. ඉන් බොහෝ දෙනාගේ එකම පැතුම දන්පින් කරමින් ධාර්මික දිවි පෙවතක් ගත කිරීමය. එහෙත් වත්මන් තරගකාරී සමාජය තුළ ඔවුන්ට සිදුවී ඇත්තේ තම දරුවන්ගේ දරුවන්ගේත් වැඩ කරමින් රෙදි කඳු ගණන් සෝදමින් බැලමෙහෙවර කරමින් දුක්ඛිත ජීවිතයක් ගත කරන්නටය.

වැඩිහිටියා නිර්වචනය කෙරෙන්නේ සමාජය බලගන්වන සැබෑ යාවත්කාලීන ක්‍රියාකාරී මැදිහත්කරුවකු ලෙසය. වැඩිහිටියාගේ යුතුකම වනාහී තමන් උරුම කරගත් අත්දැකීම් ඊළඟ පරම්පරාවට පවරා දීමය. සමාජයේ සෑම කුදු මහත් ක්ෂේත්‍රයකම ප්‍රගමනයට වැඩිහිටියාගේ මැදිහත්වීම යහපත් සමාජයක් ගොඩනැගීමට උපකාරී වේ.

වියපත් බිරිඳ මියගිය පසු වියපත් සැමියා හව්රණක් නැතුව අසරණ වෙයි. අපේ ජනප්‍රිය වියපත් ගායකයකුගේ බිරිඳ මියගියේ මීට දසවසරකට ද පෙරය. මේ වියපත් ගායකයා තරුණියක සමග විවාහ වීම පසුගිය කාලය තුළ අපේ ජනසංනිවේදන මාධ්‍ය තුළ තලු මරන ප්‍රවෘත්තියක් වී තිබුණි. එහෙත් තම බිරිඳ මියගොස් හුදෙකලාව සිටි වකවානුව තුළ මේ ජනසංනිවේදන මාධ්‍ය ඔහු උන්නාද මළා දැයි බලන්නට ගියේ නැත. දරුවන් බොහෝ විට මව්පියන් මහමගට ඇද දමන්නේ ඔවුන්ට ආදායමක් නොමැති වීම නිසාය. ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිවූ වැඩිහිටියන් සමාජය තුළ අසරණ වේ. බොහෝ විට පවුලට එක්වන අලුත් සාමාජිකයන්ගේ කීම් අසා පුතා හෝ දුව තම මව්පියන් ඇද දැමෙන්නේ මග මගටය. තමන්ගේ දරුවන්ද තමන්ට මතු දිනෙක උරුම​ කොට දෙන්නේ මේ ඉරණමම නොවේදැයි ඔවුන් එවැනි විටක අසන්නට යන්නේ නැත.

අපට ඇතැම් විට සොහොන්වල අතහැර දමා ගිය වැඩිහිටියන්ද දැකගත හැකිය. මේ බොහෝ වැඩිහිටියන් පවසන්නේ නිවෙසේ අමු සොහොනේ ඉන්නවාට වඩා මේ සැබෑ සොහොනේ ගත කිරීම සහනයක් බවය. වැඩිහිටි ජනගහනය සුබසාධනයට රජය මෙතෙක් සැකසූ ජාතික ප්‍රතිපත්තියක් හෝ ක්‍රමවේදයක් හෝ නැහැ. පිංපඩියක් හෝ සොච්චම් සහනාධාරයක් දී පාලක පක්ෂය තම යුතුකම ඉටුකළා යැයි සැනසෙති. දරුවෝ රන්මසු පොදි බඳින්නට කිසිදා ළඟා විය නොහැකි ඉලක්කයක් කරා මානසික ආතතියෙන් හැල්මේ දුවති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ තම මහලු වැඩිහිටියන් කර පින්නගෙන යන යන තැන යාම නොව එදා වේල සොයා ගැනීමය. පොදුවේ මහ මග අතරමං කොට යන මාපියන් දරිද්‍රතාවයෙන් යුතු පවුල්ම නොවේ. ආදායම අතින් ප්‍රශස්ත මට්ටමක ඇති ඉහළ සමාජයේ මාපියන් පවා මහමඟ අතරමං කරනු දක්නට ලැබේ. නමුදු වැඩිහිටියකු මහමග දමා යාම මෙරට ජනතාවට සංවේදී ප්‍රවෘත්තියකි. අපේ අනන්‍යතාව තුළ මව්පියන් සැලකීම කුල පරම්පරාවෙන් පැවත එන සාධු සම්මත චර්යාවකි. එහෙත් නැතිබැරි පවුලක මව්පියන් ‘අපි උඹලා ලොකු මහත් කළා නම් දැන් උඹලා අපට බලාගනිල්ලා’ පැවසීම අවසානයේ ගැටුමකට මුල පුරයි. මෙවැනි තත්ත්වයක් මත හිතුවක්කාර ලෙස තමන්ම මහමගට වැටෙන මාපියන්ට එරෙහිව ඇඟිල්ල දිගු කිරීම ඇත්තෙන්ම සාහසික ප්‍රයත්නයකි.

දරුවන්ගෙන් තම අයිතිවාසිකම් යුතුකම් ලෙස දිනා ගැනීමට නීතිය තුළ උපයෝගිතාවක් ඇත. දේපළ පැවරීමේදී ‘ප්‍රාණ භුක්තියට තබා ලිවීම’ එවැන්නකි. ඊටත් වඩා 2000 අංක 9 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 වගන්තිය යටතේ ඕනැම මව්පියකුට තම දරුවකුට එරෙහිව නඩු පැවරිය හැකිය. මෙහිදී දෙපාර්ශ්වය කැඳවන්නේ වැඩිහිටි තැනැත්තන් සඳහා නඩත්තු මණ්ඩලයටය. මෙහිදී රහස්‍ය භාවය සහ ​ෙපෟද්ගලිකත්වය සුරැකීම විශේෂ ලක්ෂණයකි.

කෙසේ නමුත් වැඩිහිටියන් සම්බන්ධ බරපතළ තත්ත්වයක් අනාගත​ෙය් ඇතිවන බව නම් සත්‍ය්‍යකි. 1981 වසරේදී මෙරට පුරවැසියන් 9 දෙනෙකුගේ 1 අයකු වැඩිහිටියකු විය. 2012 දී එය පුරවැසියන් 5 කට වැඩිහිටියන් 1 කි. 2041 වසරේ එම අනුපාතය පුරවැසියන් 4 කට වැඩිහිටියන් 1 කි. මේ කරුණු සැලකිල්ලට ගෙන දන්ම වැඩිහිටියන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *