Latest News Local News Murder Popular

විද්‍යා ඝාතනයේ සැකකරුවන් 07 ක් එල්ලුම් ගහට !

යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නව දෙනාගෙන් 7 දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (27) නියෝග කරනු ලැබුවා.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කළා.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ, රජයේ සාක්ෂි  හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කිරීමෙන් තීන්දුව ප්‍රකාශ කෙරුණි.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්  හා යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් විසින් තීන්දුව ප්‍රකාශ කළ අතර ඝාතනයට සම්බන්ධ 02 වන විත්තිකරු පූබාලසිංහම් ජෙයකුමාර්, 03 විත්තිකරු පූබාලසිංහම් තවකුමාර්, 04 වන විත්තිකරු වන මහාලිංගම් ශෂිදරන්, 05 වන විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, 06 වන විත්තිකරු වන ශිවදේවන් දුෂාන්තන් නොහොත් පෙරියම්බි , 08 ජෙයදරන් කෝකිලන් ,09 වන විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් නමැත්තා වෙත මරණ දණ්ඩණය ලබාදීමට නියෝග කරනු ලැබුවා.

යාපනය මහාධිකරණයේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පළවන සහ හත්වන විත්තිකරුවන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි. මෙලෙස මරණ දඩුවම් නියම කෙරුණු පිරිසට නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මහාලිංගම් ශශිකුමාර් හෙවත් ස්විස් කුමාර් ද ඇතුලත්ය.

එසේම විත්තිකරුවන්ට වසර 30 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ විනිසුරු මඩුල්ල රුපියල් 40,000 ත් 75,000 ත් අතර දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළා. 

එමෙන්ම මියගිය විද්‍යා දැරියගේ පවුලට රුපියල් මිලියනය බැගින් වන්දි මුදලක් ගෙවන ලෙස ද චූදිතයන් 07 දෙනාට විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *