Uncategorized

විරුවන් මරුවන් කළ යුද අපරාධ කතාව

යුද සමයේ වන්නි ආඥාපති පදවිය දරා පසුව යුද හමුදාපති පදවිය දැරූ ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධකරුවෙකු බවට චෝදනා කරමින් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය සමාජයේ දැඩි විවේචනයට හා කතාබහට ලක් විය. පසුගිය වසර දෙකක කාලය තුළ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කළ ජෙනරාල් ජගත් ජයසූරියගේ සේවා කාලය නිමවෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු යුද අපරාධකරුවෙකු බවත්, ඔහුට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත්, වහා බ්‍රසීලයෙන් පිටුවහල් කළ යුතු බවත් කියමින් නීතිඥවරු පිරිසක් එරට අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා විය. මෙම සිද්ධිය පිටුපස සිටියේ කොටි ඩයස්පෝරාව සහ ඔවුන් වෙනුවෙන් මුදලට හඬ නගන යැස්මින් සූකා වැනි නීතිවේදීන් පිරිසකි. මෙම චෝදනා මධ්‍යයේ ජෙනරාල් ජයසූරිය සේවා කාලය හමාර කොට ශ්‍රී ලංකාවට පා තබත්ම දුම්මලවරම අතට ගත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය.

යුද්ධය මෙහෙය වූයේ තමන් බවත් හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයන් කිසිවෙකු ඒ සඳහා කළ දෙයක් නැති බවත් කියමින් කලකට පෙර මහත් ලෙස උදම් ඇනූ සරත් ෆොන්සේකා එකවරම තමන් යටතේ සිටි ජනරාල්වරයකුට යුද අපරාධ චෝදනාවලින් දමාගැසීම බෙහෙවින් පිළිකුල් සහගත ක්‍රියාවකි. යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ඇති ශ්‍රී ලාංකික බහුතර ජනතාවත්, රටට ආදරය කරන දේශප්‍රේමීනුත් දේශපාලන භේදයෙන් තොරව බොහෝ මැති ඇමැතිවරුත් ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ කතාව දැඩි ලෙස හෙළා දැක්කේය. සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාරය ඇතැමුන් දැඩි කෝපයෙන් යුතුව ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍යවල සටහන් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ යුද අපරාධ කතාවට දැඩි පිළිතුරක් ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ජනාධිපතිවරයා කීවේ තමන් ජෙනරාල් ජගත් ජයසූරිය තබා කිසිදු හමුදා සෙබළෙකු යුද අපරාධ අධිකරණවලට ගෙන යාමට ඉඩ නොතබන බවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුනොකළ බවද ජනපතිවරයා අවධාරණය කළේය. ඉන්පසු යුද හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ෆොන්සේකාගේ යුද අපරාධ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිවක් යුද සමයේ සිදුනොවූ බවත් වගකීම් සහගතව ප්‍රකාශ කළේය. එසේම පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස ආදී ඇමැතිවරු ද ෆොන්සේකාගේ කතාව දැඩි ලෙස විවේචනය කළහ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මන්ත්‍රීවරැ පමණක් නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ කතාව රණවිරුවන් පාවාදීමකැයි තරයේ සඳහන් කළහ. මෙම විවේචන මධ්‍යයේ කිරිබත්ගොඩ ප්‍රදේශයට රැස් වූ කැලණිය ආසනයේ ජනතාව ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ අනුරැවකට ගිනිතබා උද්ඝෝෂණය කරමින් විරෝධය පළ කළෝය. එදිනම කැලණිය ආසනයේ දී ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා නැවතත් මුල් චෝදනාවම මතුකරමින් ජෙනරාල් ජගත් ජයසූරියට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.

වසර තිහක් ඇදීගිය කොටි ත්‍රස්තවාදී යුද්ධය විසින් මෙරට අහිංසක ජන ජීවිත ලක්ෂ ගණනාවක් බිල්ලට ගත්හ. ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, කාත්තන්කුඩි පල්ලිය වැනි පූජ්‍ය ස්ථානවලදීද අහිංසක ජනතාව ඝාතනය කළහ. අවසන් මානුෂීය මෙහෙයුම් සමයේදී ද ආරක්ෂක අංශවල විසිඅටදහසක් පමණ රණවිරුවන්ට ජීවිත අහිමි විය. තවත් දස දහස් ගණනක් ආබාධිත වූහ. එසේම දෙමළ ජනතාවද මරණයට පත් වූහ. එසේ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව සිතාමතා යුද අපරාධ සිදුකළ බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නැත. හමුදාව යුද අපරාධ කළේනම් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව සහ පියා ආරක්ෂක හමුදා යටතේ රැකවරණ ලබන්නේ නැත. සුසෙයිගේ තමිල් චෙල්වම්ගේ බිරින්ඳෑවරුන්ගේ ජීවිත රැකෙන්නේ නැත. එහෙත් අනුන්ට මානව හිමිකම් නීති ගැන දේශනා කරන බටහිර බලවතුන්ට මේ යථාර්ථය නොපෙනීම කනගාටුවට කරුණකි. එංගලන්තයට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදිත් ප්‍රංශයේ පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදිත් මානව හිමිකම් නීති නොතකා ත්‍රස්තවාදය මර්දනය කරන බව ලෝකයටම ඇසෙන්නට කීවේ ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් වලට මානව හිමිකම් නීති හා න්‍යායන් ගැන පාඩම් කියාදෙන, ඇඟිල්ල දිගුකරන ඒ රටවල රාජ්‍ය නායකයන්මය. ඔවුනට වලංගු නොවන මානව හිමිකම් නීතිය අප රටට වලංගු කරන්නට මේ බලවත්හු තවමත් කැස කවති. සාමාන්‍ය ජනතාව, දරුවන්,භිුන් වහන්සේලා මෙන්ම ඉන්දියාවේ අයෝමය නායකයා වූ රජීව් ගාන්ධි, මෙරට ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස, ප්‍රභාකරන්ට ඊළම කියාදුන් ඒ, අම්ර්තලිංගම් වැනි නායකයන් සිය ගණනක් අමු අමුවේ ඝාතනය කළ රුදුරු එල්.ටී.ටී.ඊ.ය සමඟ කළ අවසන් මහ සටන යුද අපරාධයක්යැයි එම සටන මෙහෙය වූ හමුදාපතිවරයා කියන්නේ නම් එවැනි අයට කියන්නට බණක් නැත. හමුදා ජෙනරාල්වරැන් අතර පවතින එදිරිවාදිකම් හා පරණ කෝන්තර පිරිමසා ගැනීම සඳහා යුද අපරාධ චෝදනා වැනි මෙවලම් භාවිත කිරීම ජාතියේම අවාසනාවකි.

දේශයේ අපි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විවිධ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයන්ගේ නිදහස් මතය විමසීමු.

මුළු හමුදාවම පාවා දුන්නා

ඇල්ලේ ගුණවංශ හිමි 

සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් එදා හමුදාපතිවරයෙක් ලෙස දිවුරැම් දීපු කෙනෙක්. ඒ වගේම අද වෙද්දී ඇමැතිවරයෙක් විදිහටත් රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවුරුම් දීපු කෙනෙක්. එහෙම කෙනෙක් මේ වගේ ලජ්ජාසහගත ලෙස හැසිරෙද්දී, දීන විදිහට කතා කරද්දී, භයානක අහිතකර වැරදි ප්‍රකාශ කරද්දී මේ රට ගැන රණවිරැවන් ගැන කැක්කුමක් සහ හැඟීමක් තියෙන මට විශාල වේදනාවක් දැනෙනවා. අපිට මේ රටේ බයක් සැකක් නැතුව ජීවත්වීමේ අයිතිය ලබලා දුන්නේ රණවිරුවන්. දවස් ගණන් යුද ඇඳුම, බූට් සපත්තු දෙක ගලවන්නේ නැතුව මඩ වතුර බිබී එක දිගට යුද පෙරමුණේ හිටපු සෙබළු හිටියා. ඒ විරැවන්ට, ඒ වීරයන්ට, ඒ ගැලවුම්කරැවන්ට, ඒ හමුදාවට එදා යුද්ධයට අණ දුන්න යුද හමුදාපතිවරයා යුද අපරාධ චෝදනා කරනවානම් ඒක බලවත් වරදක්.

බටහිර බලවේග එදා ඉඳන්ම කීවේ මේ යුද්ධය දිනන්න බෑ, එල්.ටී.ටී.ඊය හරි ප්‍රබලයි, ඒ හින්දා මේ රට බෙදන්න කියලා. ඒත් අපේ රණවිරුවන් යුද්ධය දිනුවා. එදා ඉඳන් බටහිර රටවල්වලට අපේ රට ගැන, රණවිරැවන් ගැන තියෙන්නේ වෛරයක්. හිටපු යුද හමුදාපතිවරයා මේ උඩගෙඩි දෙන්නේ ඒ හතුරන්ට. සුදුකොඩි කතාව කියලා හමුදාවට චෝදනා ගෙනාවෙත් ඔය හමුදාපතිවරයාම තමයි.

රටේ ඒකීය භාවයට එරෙහිව, හමුදාවට එරෙහිව කතා කරන හැමකෙනෙක්ටම ජාත්‍යන්තරය සමඟ ගිවිසුමක් ගනුදෙනුවක් තියෙනවා. මේ නටන්නේ එන්.ජී.ඕ. ඉත්තන්. මම ඔවුන් මේ රටේ පුරවැසියන් ලෙස සලකන්නේ නෑ. ඔවුන් කඳක් මිස හිසක් නැති පාවාදෙන්නන්.

මේවා වෛරයෙන් කරන කතා

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් 

හිටපු ආරක්ෂක ලේකම් විදිහට මම වගකීමෙන් කියනවා අපේ හමුදාව යුද අපරාධ කළේ නැහැ කියලා. අද ඔය විදිහට යුද අපරාධ චෝදනා නගන හිටපු යුද හමුදාපතිවරයාම වරක් ප්‍රකාශ කළා අපේ හමුදාව බුද්ධිමත් හමුදාවක් එහෙම යුද අපරාධයක් සිද්ධ වුණේ නෑ එහෙම වුණානම් ඒකට එයා සම්පූර්ණයෙන් වග කියනවා කියලා. අපි වෘත්තීය හමුදාවක් අපි යුද්ධ කළේ කණ්ඩායම් හැඟීමෙන්. විශේෂයෙන් අපි හැම අවස්ථාවකදීම සිවිල් වැසියන් කෙරේ අවධානයක් යොමු කළා එහෙම ප්‍රකාශ කරපු යුද හමුදාපතිවරයා අද මෙහෙම ප්‍රකාශ කරන්නේ කවර අරමුණකින්ද? කාගේ වුවමනාවකටද? කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. යැස්මින් සූකා වගේ අය ලංකාවේ යුද්ධය ගැන වාර්තා කරන්න තොරතුරු ගන්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සහ කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන වලින්. ඒ වාර්තා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒවා කිසිසේත් පිළිගත හැකි වාර්තා නෙවෙයි. හිටපු යුද හමුදාපතිවරයා අද කතා කරන්නේ පෞද්ගලික වෛරයකින් සහ දේශපාලන අරමුණක එල්බගෙන කාගේ හෝ අරමුණක් ඉටු කිරීමට මිස  සත්‍ය මත පිහිටා නෙවෙයි. හිටපු හමුදාපතිවරයෙක් කතා කරද්දී වගකීමෙන් කතා කළ යුතුයි. ඔහු අණ දුන්න හමුදාව ගැන, ඔහු යටතේ සිටි නිලධාරීන් සහ සොල්දාදුවන්  ගැන, ඔවුන් රට වෙනුවෙන් කළ කැපකිරීම ගැන කාටත් වඩා ඔහු දන්නවා. එහෙම පසුබිමක මෙවැනි වැරදි මෝඩ පාවාදීමේ ප්‍රකාශ කිරීම ඉතා කනගාටුදායකයි.

හමුදාව අපරාධ කළාලු එතකොට කොටි?

පාඨලී චම්පික රණවක
මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති 

ශ්‍රී ලංකාවේ තිබුණු අඳුරුම ම්ලේච්ජත්ම යුගය තමා ත්‍රස්තවාදීන් මේ රට අන්ත පරාධීන කළ යුගය. එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී නාසි වාදී සංවිධානයක්. නිරායුධ සිවිල් ජනතාව මරා දාපු, රාජ්‍ය නායකයන් දේශපාලනඥයන් මරාදමපු, ආගමික ස්ථාන විනාශ කරපු, ජාත්‍යන්තර වැඩපිළිවෙළකට අනුව ක්‍රියා කරපු සංවිධානයක්. අද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජීවතුන් අතරේ ඉන්න පිරිස් කිසිම ප්‍රශ්නයක් නැතුව බටහිර රටවල්වලට වෙලා හොඳට ජීවත් වෙනවා. රුද්‍ර කුමාරන්ලා, ඇඩෙලා බාලසිංහම්ලා, විනයගම්ලා, නෙදියවම්ලා ඇතුළු දොළොස්දාහක් කොටි අද නිරුපද්‍රිතව ඉන්නවා. දෙමළ ජාතිවාදී පිරිස්වල වුවමනාවට පරණ තුවාල පාරනවානම් දෙපැත්තෙම තුවාල පාරවන්න ඕන. යුද හමුදාවට යුද අපරාධ චෝදනා නගනවනම් ඔය ඉතුරැවෙලා ඉන්න කොටින්ටත් ඔවුන් සැබෑවටම කළ අපරාධවලට එරෙහිවත් චෝදනා ගොනු කරන්න. ඔවුනුත් අත්අඩංගුවට ගන්න. පෞද්ගලික ප්‍රශ්න මතු කරගෙන හමුදාවට එරෙහි ප්‍රකාශ කරනවනම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම ජෙනරාල් ජගත් ජයසූරිය සහ හමුදාව වෙනුවෙන් පෙනී සිටීම ආණ්ඩුවේ වගකීමක්.

පරණ කුණු අදින එක වරදක්

මනෝ ගනේෂන්  ජාතික සහජීවනය පිළිබඳ අමාත්‍ය 

ජනාධිපතිවරයා කීවා රණවිරැවන් කිසිම යුද අධිකරණයකට ගෙනියන්න ඔහු උදවු කරන්නේ නෑ කියලා. යුද අපරාධ කියන මාතෘකාව ඇත්තටම සංවේදී ප්‍රශ්නයක්. ඒ ගැන කවුරැත් හිතා මතා අදහස් ප්‍රකාශ කරනවානම් ඒක මම අනුමත කරන්නේ නෑ. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය මේ යුද අපරාධ කතාවෙන් දේශපාලන වාසි ලබාගන්නවා. අපි මේ වෙලාවේ ජනතාව උසි ගැන්වීම වැරදියි. අනිත් එක අපි වර්තමානයේ ප්‍රශ්නවලට ඈත ඉතිහාසයට ගිහින් උත්තර හොයන එක වැරදියි. පරණ කුණු හොයන්න ගියොත් කා කා ළඟත් කුණු තියෙන්න පුළුවන්. ආසියාවේ කුණු වගේම බටහිර කුණුත් තියෙනවා. යු.එන්.පී, ශ්‍රී ලංකා, ටී.එන්.ඒ. ඔය කා කා ළඟත් කුණු තියෙනවා. කුණු අවුස්සන්ට අවුස්සන්ට හතර වටේටම ගඳ ගහනවා. පල් වතුරක නතර නොවී අතීතය අමතක කරලා රටක් විදිහට අපි ඉදිරියට යා යුතුයි.

රණවිරුවන් පාච්චල් කරන්න එපා

ජෙනරාල් දයා රත්නායක හිටපු යුද හමුදාපති 

යුද්ධය අවසන් කරන්නට උර දුන් හමුදාපති මේ විදිහට කතා කිරීම ගැන අපට අපේ කනගාටුව තමා ප්‍රකාශ කරන්න තියෙන්නේ. හිටපු හමුදාපතිවරයෙක් විදිහට ඒ ගැන මම දැඩි ලෙස කනගාටු වෙනවා. අපි ලෝකෙටම ආදර්ශමත් විදිහටයි යුද්ධ කළේ. නොවැළැක්විය හැකි හේතු මත රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් යුද්ධයක් කරන්න වෙනවනම් යුද්ධ කිරීම ඒ රටේත් හමුදාවේත් වගකීමක්. එසේ අප කළ යුද්ධයේ අරමුණ වුෙණ් ත්‍රස්තවාදී තර්ජන ඉවත් කර ජනතාවට සාමය සහ ආරක්ෂාව ලබාදීමයි. අවුරැදු තිහක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කළ ඝාතන සහ විනාශ කොයිතරම්ද කියලා අවබෝධ කරගන්න අපහු හැරිලා ඒ යටගියාව දිහා බලන්න. අද මැරෙයිද හෙට මැරෙයිද බස් බෝම්බෙකින් මැරෙයිද? කොහොම මැරෙන්න වෙයිද කියන බයෙන් ගැහි ගැහී මේ රටේ මිනිස්සු ජීවත් වෙච්ච යුගය අමතක කරන්න එපා. ඒ මිනිස්සුන්ට නිදහස් නිවහල් රටක් හදලා දෙන්න දිවි පිදූ, ආබාධිත වූ වීර සොල්දාදු ජීවිත අමතක කරන්න එපා. ඒ වීර හමුදාවට නින්දිත විදිහට ගරහන්න එපා.

බලයට පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම යුද්ධයකට නොගොස් ත්‍රස්තවාදී  ප්‍රශ්නය විසඳන්න කළ හැකි හැමදේම කළා. ඒත් කොටිනායකයා ඒ සියලු ප්‍රයත්න වලින් තමන්ට ගත හැකි වාසිය ලබාගෙන ආණ්ඩු රවටමින් අවසානයේදී ඉල්ලුවේ ඊළම. අවසන් විසඳුම ලෙස තමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයකට ගියේ. ලෝකේ වෙන කිසිම රටක් යුද්ධයකදී අනුගමනය නොකරන යුද සංකල්පයක් අනුව තමා අපි අවසන් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කළේ. උතුරේ සිවිල් දමිළ ජනයා පාරාවළල්ලක් කර නොගෙන ඔවුන්ගේ බඩගින්න තිබහ නිවමින් ඔවුන්ගේ ජීවිත බේරමින් යටත් වූ ත්‍රස්තවාදීන්ට පවා සමාව දෙමින් අපි කළේ මුළු ලෝකයටම පාඩම් ඉගෙනගත හැකි ආදර්ශමත් යුද්ධයක්.

දේශපාලන කාරණා ඉස්මතු කරගෙන, පෞද්ගලික කාරණා ඉස්මතු කරගෙන, ක්‍රෝධය, වෛරය ඉස්මතු කරගෙන පහත් මානසික මට්ටම් ඉස්මතු කරගෙන කටයුතු කිරීම තමා මේ අවස්ථාවේ රටේ දකින්නට ඇති අවාසනාවන්තම දේ. ජනාධිපති අගමැති ඇතුළු වගකිවයුතු සියලු දෙනා මෙවැනි අවාසනාවන්ත තත්ත්ව ඇති නොවෙන්න වග බලාගත යුතුයි. මෙවැනි අසත්‍ය වෛරී ප්‍රකාශ මින් මත්තට ප්‍රකාශ නොකෙරෙන තැනට රජය කටයුතු කළ යුතුයි.

ෆොන්සේකා ගැන රජය වහා තීන්දුවක් ගන්න

ගෝමින් දයාසිරි ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ 

සරත් ෆොන්සේකා කියන්නේ අවසන් මානුෂීය මෙහෙයුමේදී යුද හමුදාවට නායකත්වය දුන්න යුද හමුදාපතිවරයා. ඔහු යුද හමුදාපතිවරයා ලෙස එදා ඒ කළ මෙහෙයට ඔහුට මුළු රටේම ජනතාවගේ ගෞරවය හිමිවුණා. එහෙත් පසුව ඔහු සිදුකළ සුදු කොඩි ප්‍රකාශය මෙන්ම යුද අපරාධ සිදු වූ බවට ලෝකයේ ඕනෑම අධිකරණයක තමන් සාක්කි දීමට සූදානම් බවට ඔහු කළ ප්‍රකාශ ඉතා දුර්වල ප්‍රකාශ වගේම ඔහු කෙරේ ප්‍රබල අප්‍රසාදයක් ඇති කරවන ප්‍රකාශයි. හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ සිදුකර ඇති බවට ලෝකයේ ඕනෑම අධිකරණයකදී තමන් සාක්ෂි දීමට සූදානම් බවට ඔහුකළ ද්වේශ සහගත, අවාසිසහගත ප්‍රකාශය බිහිසුණුයි. එය රටට අවනම්බුවක්. ඔහු අගෞරවයට ලක් කරන්නේ රටේ ත්‍රස්තවාදය නැති කරන්න උරදුන් හමුදා නායකයන්. එක්සත් ජාතික පක්ෂ නායකයා හෝ ඇමැතිවරුන් ඒ ප්‍රකාශය සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ප්‍රකාශයක් ලෙස හුවා දක්වමින් එයින් ගැලවෙන්න හදනවානම් ඒකත් විශාල වැරැද්දක්. වගකිවයුතු කැබිනට් ඇමැතිවරයෙකු වශයෙන් මෙවැනි ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකාට එරෙහිව ඔවුන් විනය ක්‍රියා මාර්ග ගත යුතුයි. විජයදාස රාජපක්ෂට චෝදනා නගමින් ඔහු ඇමැතිකමින් අස් කරන්න පුළුවන්නම් මුළු රටටම හානිකර මුළු හමුදාවටම හානිකර ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා ඇමැතිකමින් අයින් කරන්න ඇයි ආණ්ඩුවට බැරි. එන්.ජී.ඕ. කාරයන්ගේ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන සරත් ෆොන්සේකාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොකරන්නේ ඇයිදැයි අපි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි.

ජාතියක් ලෙස එකාවන්ව නැගී සිට රටේ යුතුකම හා වගකීම විය යුත්තේ සරත් ෆොන්සේකා ආරක්ෂා කිරීම නොව එඩිතර සොල්දාදුවන් හමුදා නායකයන් සහ හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ හමුදාව හෝ හමුදා නායකයන් සිවිල් වැසියන්ට එරෙහිව හෝ තමන්ට ඇති ආයුධ බලය ඉක්මවා යමින් කිසිවිටෙක ක්‍රියා කළේ නෑ. එසේ නොකළ හමුදාව යුද අපරාධ සිදුකළ බවට කෙනෙක් චෝදනා නගනවානම් ඒ ඉටු කරන්නේ එන්.ජී.ඕ. කාරයන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවක්. ජාත්‍යන්තර නීතිය අනුව යුද නීතිය යනු අපරාධ නීතියෙන් සහමුලින්ම වෙනස් වෙන දෙයක්. එය ජයග්‍රාහකයාගේ නීතිය වශයෙන් හැඳින්වෙන්නේ එය සකස්කළේ අමෙරිකන් හමුදාව නාගසාකි හා හිරෝෂිමා වැනි මහා දුෂ්ඨ ඛේදවාචක කර තම සෙබළුන් ආරක්ෂා කරමින් පරාජිත ජර්මනියට හා ජපානයේ හමුදාවලට එල්ල වෙන නීතියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහායි. නමුත් අද එන්.ජී.ඕ. කාරයන් මෙය ඔවුන්ගේ වාසියට හරවා බ්‍රසීලය වැනි රටවලට දකුණු අමෙරිකාවේ රටවලට පෘතුග්‍රීසි භාෂාව කතා කරන අධිකරණවලට, පෘතුග්‍රීසි නීතිය අනුගමනය කරන රටවලට ගොස් නඩු පවරන්න හදනවා.

මිය නොගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අද බලවත් රටවල්වල රැකවරණය ලබමින් නිරුපද්‍රිතව ඉන්නවා. අැඩෙලා බාලසිංහම් සුදු නෝනට ඔය මානවහිමිකම් කඩකිරීම් ගැන, යුද අපරාධ ගැන කතා කරන බලවත්තු මොකද කළේ? අපරාධ කළ අනිත් ත්‍රස්තවාදීන්ට මොකද කළේ? ළමා හිමිකම් කඩ කරමින් දෙමළ දරැවන් බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවාගෙන කළ අපරාධ ගැන කවුද කතා කරන්නේ? කොටි අපේ දරැවන් මැරැවා. භික්ෂූන් වහන්සේලා මරැවා. නායකයින් මැරැවා. සිවිල් ජනතාව මැරුවා.

යුද අපරාධ නොකළ හමුදාවකට ඔය බලවත් රටවල් එක ඇඟිල්ලක්  දිගු කරද්දී එයාලගේ පැත්තට තව ඇඟිලි හතරක් දිගු වෙනවා. සැබෑ අපරාධකාරයෝ අද එහෙම නිරැපද්‍රිතව ඉන්නේ අපි නිහඬව ඉන්න හින්දා. වැරුද්ද තියෙන්නේ අපේ ඒ නිහඬත්වයේ.

යුනිෙෆා්ම් අැන්දත් වරදට දඬුවම් දෙන්න ඕන

ගාමිණී වියන්ගොඩ කැඳවුම්කරු – පුරවැසි බලය 

ජාත්‍යන්තර යුද අධිකරණයක් ගැන කතාව ආවේ අපි ඒ අදාළ ප්‍රශ්නවලට ලංකාවේදී ආමන්ත්‍රණය කරන්න ක්‍රමයක් හදපු නැති නිසා. යුද්ධයේදී අපරාධ වෙලා තියෙනවනම් අනිවාර්යෙන් ඒ අපරාධ විභාග කළ යුතුයි. වැරදි කළේ කවුරුන් වුණත් දඬුවම් දිය යුතුයි. එයා යුද්දේ හිටියේ යුනිෆෝම් ඇඳගෙන හිටියේ එහෙම විත්ති වාචක කතා මෙතෙන්ට අදාළ නෑ. අපි දැන් ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ඕන යුද අපරාධ සම්බන්ධයෙන් අපි දේශීය අධිකරණය ඔස්සේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රමයකට යනවා කියලා. එහෙම නොවෙනතාක් ජාත්‍යන්තරයෙන් අපට ප්‍රශ්න එනවා. සරත් ෆොන්සේකා මොනවා කීවත් අපරාධ සිද්ධ වීම සම්බන්ධව මෙතන ප්‍රශ්නයක් තියෙනවා. වින්දිතයන්ට අපේ අධිකරණය විශ්වාස නැත්නම් යම්කිසි ජාත්‍යන්තර සහභාගීත්වයක් ඇති කර ගත යුතුව තිබෙනවා.

ජාත්‍යන්තරය ඉල්ලීම් කරලා තියෙන්නේ රජයේ හමුදාව සහ ත්‍රස්තවාදීන් කියන දෙපාර්ශ්වයම කර ඇති අපරාධවලට එරෙහිව දඬුවම් දෙන්න කියලා. අද වෙද්දී යුරෝපා රටවල හෝ ලෝකයේ ඕනෑම රටක  සිටින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිවත් මේ විදිහටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. දඬුවම් දෙන්න ඕනෑ. කවුරුත් කියන්නේ නැහැ එය නොකළ යුතුයි කියලා. අපි නොකළොත් ජාත්‍යන්තරය කවදා හරි මේ ප්‍රශ්නය අතට ගනීවි. අමෙරිකාව ගත්තොත් යුද අපරාධ සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයක් ඔවුන්ට තියෙන්නේ. ජපානයට එරෙහිව පරමාණු බෝම්බයක් දැමීමම යුද අපරාධයක්. ඒ විදිහට ලෝකයේ දියුණු රටවල් හුඟක් යුද අපරාධ කරලා තියෙනවා. ඒත් ඒ වැරදීම නැවත කරන්නට ලෝකයේ අනිත් රටවල්වලට දැන් අයිතියක් ලැබෙන්නේ නෑ. දියණු බලවත් රටවලට ගොඩක් දේවල් සම්බන්ධව දෙබිඩි පිළිවෙතක් තමා තියෙන්නේ. මානව හිමිකම් ගත්තත් ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට අදාළව එක විදිහක්. අනිත් රටවල් සම්බන්ධව තවත් විදිහක් තමා ඔවුන් අනුගමනය කරන්නේ. එහෙත් අප එය “එක්ස්කියුස්” එකක් කරගත යුතුද කියන එකයි මගේ ප්‍රශ්නය. අප කළ යුත්තේ ඔවුන්වත් විවේචනය කිරීම මිස ඔවුන් කළ වැරදි අපත් කිරීම නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *