Latest News Local News Murder Sex

සිය කුමාරි බඹසර රැක ගැනීමට සල්ලාලයා සමග සටන්වැදි දයේ දියණියක්

හිමිදිරි උදෑසන සුපිපි පින්න මලක් බඳු වූ මධුෂානි පාපතර සල්ලාලයෙකු තලා පෙළා පොඩිකර දැමුවේ ඒ සල්ලාලයාගේ පහත් කාමුක ආශාවන් ඇයගෙන් සංතර්පනය කර ගැනීමට ගත් උත්සාහයේදීය.

මධුෂාණිගේ රුවට ලොබ බැන්ද සල්ලාලයෙක් නිසා ඇය ජීවිතයෙන් සමුදුන්නේ භද්‍ර යෞවනයේ එළිපත්තේ සිටියදීය.


මේ පාපතර සල්ලාලයා ඔහුගේ කාමුක ආශා බලහත්කාරයෙන් සංසිඳුවා ගැනීමට උත්සාහ කරද්දී ඇය අවසන් හුස්ම පොද වා තලයට මුසුවන තෙක්ම ඒ පාදඩයා හා සටන් වැදි ඇත්තේ සිය කුමරි බඹසර රැක ගැනීමේ අපේක්ෂාවෙනි.

නිකවැරටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර, ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය සහ ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.වී.සී. දීපාල් යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ගිරිබාව පොලිස් වසමට අයත් සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශය බලා පිටත්ව ගියේ ඒ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් ඝාතනය කර ඇති බවට කරන ලද දැනුම්දීමක් මතය.

පොලිස් කණ්ඩායම අපරාධය සිදුවූ නිවසට ගොස් පරික්ෂා කර බැලීමේදී කාමරයක ඇඳක් මත මධුෂාණිගේ සිරුර උඩබැලි අතට වැටී තිබෙනු මුලින්ම දැක ගැනීමට ලැබී ඇත.

නිකවැරටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂා කිරීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්.ජී.ජී. බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන අසංක (70846) සහ බුද්ධික (715225) යන මහත්වරුන් ද අපරාධය සිදුවූ ස්ථානයට පැමිණ අපරාධයට අදාළ විද්‍යාත්මක සාධක සොයා ගැනීමට පරික්ෂණ ආරම්භ කරනු ලැබූහ.

අපරාධය සිදුකිරීමෙන් පසු සාහසිකයා පැරකුම්පුර සිට තඹුත්තේගම බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයකට ගොඩවූ බවට ලැබුණු තොරතුරක් මත ඒ බස් රථය ලුහුබැඳ ගිය ගම්වාසීන් පිරිසක් අතරමගදී බස්රථය නතර කරගෙන අපරාධය සිදුකර පලාගිය සැකකරුගේ හැඩරුව කියා එවැනි කෙනෙක් බස් එකට ගොඩ වුණාද කියා කොන්දොස්තරගෙන් විමසා ඇත.

ඔව්. ඔය කියන හැඩරුව තියෙන කෙනෙක් බස් එකට නැග්ගා.

එහෙම කියා කොන්දොස්තර මහත්තයාට කට ගැනීමටවත් ​ඉඩක් ලැබුණේ නැත. මාරාවේෂයෙන් සිටි පිරිස බස් රථයට ගොඩ වී සොයා බැලුවත් ඔවුන්ට අවශ්‍ය කෙනා  බස් එකේ පේන්න සිටියේ නැත.

බස් එකට සැකකරු සොයා ගොඩ වූ පිරිස අතරේ සිටි කෙනෙක් නිකමට මෙන් සීට් යට පරික්ෂාකර බලද්දී ඔවුන් මෙතෙක් වෙලා සෙව්ව කෙනා පිටුපස අසුන යට සැඟවී සිටිනවා දැක ඇත.

සීට් එක යට සැඟවී සිටියදී අල්ලා ගත් සැකකරු බස් එකෙන් බිමට බස්සවා ඔහු අල්ලා ගැනීමට ගිය පිරිස අතරේ සිටි සමහරුන් හොඳ ගුටි බැට පූජාවක්ද ලබාදී ඇතැයි කියන්නේ හිතේ තිබුණු තරහා නිසා විය යුතුය.

ගම්මුන් පිරිසක් විසින් ගොස් අල්ලාගත් සැකකරු පොලිසියට බාරදුන් පසු ඔහු අත්අඩංගුවට ගත්තේ මධුෂාණී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිටය.

ඝාතනයට ලක්වන විට මධුෂාණි පසුවූයේ ජීවන ගමනේ 17 වැනි සැතපුම් කණුවේය.

ගිරිබාව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඇය මෙවර පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක වූවාය.

මධුෂාණිගේ පියා ගල්ගමුව මිනින්දෝරු කාර්යාලයේ සේවකයකු වන අතර මව ද සුළු රැකියාවක නිරතව සිටින්නීය.

මධුෂාණිලා පදිංචිව සිටින නිවෙසට නුදුරින් පිහිටි නිවසේ බයිට් වර්ග සාදා පැකට් කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අතර ඇයගේ මව ඒ නිවසේ බයිට් පැකට් සකස් කිරීමට උදව්කර කීයක් හරි හොයා ගන්නේ පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම සඳහාය.

රණවක මුදියන්සේලාගේ සීලවතී (45) මහත්මිය පරික්ෂණ සඳහා නිවසට ගොස් සිටි පොලිස් නිලධාරීන්ට සිද්ධිය ගැන විස්තර කරමින් මෙසේ පවසා ඇති බව දැනගැනීමට ඇත.

මම අල්ලපු ගෙදර බයිට් හදන එකට උදව් කරන්න යනවා. එහෙම යන්නේ කීයක් හරි මුදලක් හොයාගන්න ඕනෑ නිසයි. මේ දවස්වල ඉස්කෝලෙ නිවාඩු නිසා දුව ගෙදර ඉන්නේ. වෙනදාත් මම වැඩට ගියාම දුව තනියම ගෙදරට වෙලා ඉන්නවා. මේ සිද්ධිය වෙච්ච දවසේ ඒ කියන්නේ 23 වැනිදා උදේ මම බයිට් හදන ගෙදරට වැඩට ගියා. මම මෙහෙම වැඩට ගියාම වැඩකරන අතරවාරයේ කිහිපවතාවක්ම සැරෙන් සැරේ ගෙදරට එනවා දුව ගැන බලන්න.

ඉතින් මම එදාත් ගෙදර ආවා ගෙයි ඉස්සරහ දොර ඇරලා ගෙදර ටී.වී.එකත් වැඩ කරනවා. දුව පේන්න හිටියේ නැහැ. මොකද දුවේ ඉස්සරහ දොරත් ඇරලා ටීවී එකත් දාපු ගමන්ම කියාගෙන මම ගෙදරට ගොඩ වැදුණා. මම දුවේ දුවේ කියා කතා කළත් දුව ගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. මම කාමරයට ගියා දුව කාමරයට වෙලා නිදිද කියා බලන්න. අනේ මහත්තයෝ අම්මා කෙනෙකුට බලන්න පුළුවන් දෙයක් නෙමේ. අනේ දෙවියනේ මගේ දුව ඇද මත උඩුබැලි අතට වැටී ඉන්නවා එයාගේ අත් දෙකත් රෙදි පටියකින් බැදලා දාලා තියෙනවා දැක්කා. මම යටිගිරියෙන් කෑගැසුවා. එතකොට අහල පහළ අය දුවගෙන ආවා. දුවගේ ආරක්ෂාවට මම ජීවම් කරපු යන්ත්‍රයක්ද කරේ දමා තිබුණා.

අපි පදිංචිවෙලා ඉන්න ගෙදරට මීටර් 100 විතර දුරින් ගෙදර පදිංචිවෙලා ඉන්න සමන් කුමාර කියන කොල්ලා හයියෙන් හයියෙන් කලබලයෙන් වට පිට බලමින් පාරට ගිහින් බස් එකක නැග්ගා කියා දැකපු කෙනෙක් කියලා ඊට පස්සේ ගමේ කට්ටියක් ඌව අල්ලාගෙන එන්න කියා ගියා. පස්සේ දැන ගැනීමට ලැබුණ ගමේ කට්ටියක් ඌව අල්ලගෙන පොලිසියට බාර දුන්නා කියා. මගේ අහිංසකීට මේ අපරාධය කළ එකාව එල්ලුම් ගස් යවන්න ඕනැ. අනේ මගේ අහිංසක කෙල්ල මේ දෙසැම්බරේ ඕලෙවල් විභාගයට වාඩිවෙන්න හිටියා යැයි කියමින් සීලවතී මහත්මිය හඬා වැටෙන්නට පටන් ගත්තාය.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු ගංජා පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයෙක් බව ගම්මුන් පිරිසක් පොලිසියට කියා ඇති බව දැනගැනීමට ඇත.

කාන්තාවන් නාන දෙස බලා සිටින අයෙක් බවත් මෙම තරුණියට යම් යම් දේ පවසමින් උසුළු විසිලු කරන අවස්ථා තිබුණ බවත් එවැනි අවස්ථාවලදී ඇය ඔහුට බැණ වදින බවක් ගම්මුන් සැකකරුගේ පැටිකිරිය ගැන පොලිසියට පවසා ඇති බවද කියති.

මම ඉගෙනගෙන තියෙන්නේ 3 පන්තියට විතරයි. තාත්තා මිය ගියාට පස්සේ අම්මා රට ගියා. මට තව සහෝදරයෙක් ඉන්නවා. ඔහු කොළඹ පැත්තේ රස්සාවක් කරනවා. මම විවාහ වෙලා හිටියේ ගෑනි මාව දාලා යන්න ගියා. හරි හමන් රස්සාවක් තිබුණේ නැහැ. එදා මම මධුෂාණිගේ ගෙවල් පැත්තට ගියා. මම එයාලගේ ගෙවල් පැත්තට ගියේ අපේ අම්මා රට ඉඳලා එද්දී අරගෙන ඇවිත් තිබුණ සෙන්ට් බෝතලයකින් ටිකක් ලේන්සුවකට හලාගෙන ඒ ලේන්සුවත් අතේ තියාගෙනයි.

මම මධුෂාණිගේ ගෙදරට යනකොට එයා ටී.වී. බලමින් සිටියා. ගෙදර වෙන කවුරුවත් නොමැති බව මට තේරුම් ගියා. එයා වාඩිවෙලා හිටිය තැනට ගිහින් අපි දෙන්නා අනුරාධපුරයේ ගිහින් එමුද කියා ඇසුවා. එතකොට එයා මට බැන්නා. ගෙදරින් එළියට බහින්න කීවා. ඊට පස්සේ මම එයාව උස්සගෙන කාමරයකට අරගෙන ගියා.

සැකකරු පොලිසියට සිද්ධිය ගැන කළ පාපොච්චාරණයේ එසේද සඳහන් බව පැවසේ.

මධුෂාණිගේ ඝාතනයෙන් පසු ප්‍රකෝප වූ කිසියම් පිරිසක් සැකකරුගේ නිවසට ගිනි තබා අලාභ හානි සිදුකර ඇත.

සැකකරුගේ මවද ජිවිත ආරක්ෂාව පතා නිවස අතහැර පලා ගොස් ඇති අතර නිවසට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.

මහත්තයෝ ඕකාව හදාගන්න මම ගොඩක් මහන්සි ගත්තා. ඒත් වැඩක් වුණේ නැහැ. මගේ පුතෙක් බව ඇත්ත. ඒත් ඕකාව එල්ලුම්ගස් ඇරියත් මට දුකක් නැහැ. මේ කරලා තියෙන අපරාදේ හැටියට. මට දැන් ගමට එන්න විදිහකුත් නැහැ යැයි සැකකරුගේ මව මේ සම්බන්ධව පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරියකුට දුරකථනයෙන් කතා කර පවසා තිබෙන බවද දැනගැනීමට ලැබී ඇත.

මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය අනුරාධපුරය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කරුණාතිලක මහතා විසින් පසුගිය 24 වැනිදා පවත්වනු ලැබීය.

ගෙල සිරකර මෙම මරණය සිදුකර ඇති බවත් තරුණිය දූෂණයට ලක්වී ඇති බවට සාධක පෙනෙන්නට නොමැති බවත් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව පැවසුවේ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබ තිබේ.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබ ඇත්තේ කුලරත්නගේ හර්ෂණ සමන් කුමාර (36) නැමැත්තෙකි.

වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, වයඹ පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ නිකවැරටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර සහ ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.වී.සී. දීපාල්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අබේරත්න, පොලිස් සැරයන් බණ්ඩාර (55090) කාන්තා පොලිස් සැරයන් විජිතා (816) සහ කොස්තාපල් මංජුල (74419) මහත්ම මහත්මීන් මේ සම්බන්ධව පරික්ෂණ පවත්වනු ලැබූහ.

නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර දෙකඳුවල, පොලිස් සැරයන් යූ​.කේ. ජයවංශ (5907) සහ ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පධාන පොලිස් පරික්ෂක චන්දන හේරත් යන මහත්වරුන්ද මෙම පරික්ෂණ වලට සහාය වී ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *